පසුගිය සති දෙකක පමණ කාලයක් අපේ විශ්වවිද්‍යාලීය නාට්‍ය නිෂ්පාදනයකට සම්බන්ධ වීම නිසා මම ඉතා අවිවේකී වුණා. එම නිෂ්පාදනය දාරියෝ ෆෝගේ We Won't Pay! We Won't Pay! නාට්‍යයෙහි සිංහල පරිවර්තනය "අපි ගෙවන් නෑ" නමින් යෞවන නාට්‍ය උළෙල වෙනුවෙන් සූදානම් වෙමින් පැවතියා. ඉතින්, අපි ගෙවන්නේ නෑ නාට්‍යයට සම්බන්ධ වීමත් මේ දිනවල රටේ ආර්ථික දේශපාලනික සමාජයීය තත්වයත් මට දාරියෝ ෆෝ ගැන අවුස්සා බැලීමට උනන්දුවක් ඇති කළා. මේ ඒ ගැන කෙටි සටහනක්.
දාරියෝ ෆෝ ලංකාවට ඉතා හුරු පුරුදු නාට්‍ය කරුවෙක්. 80 දශකයේ සිට මේ වන තෙක් ඔහුගේ නාට්‍ය රචනා පරිවර්තන සහ අනුවර්තන ලෙස ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය වුණා. විජිත ගුණරත්න, පරාක්‍රම නිරිඇල්ල, එච් ඒ පෙරේරා, ප්‍රසන්න විතානගේ, කපිල කුමාර කාලිංග ආදී පෙර පරම්පරාවේ විශිෂ්ඨයන් අතින් මේ නිෂ්පාදන සිදු කෙරුණා. අද දවසේ එම නිර්මාණ නැවත නැවතත් ලාංකීය වේදිකාවට පුනරාගමනය වෙනවා. ඒ අද දවසේ තරුණ නාට්‍යකරුවන් අතින්. ඉතින් පරම්පරා කිහිපයක් අතරින් ගමන් කරමින් අලුත් වීමට තරම් සහජ හැකියාවක් ෆෝගේ පිටපත් තුළ තියෙන බව අපට පේනවා.
1926 මාර්තු 24වන දින ඉතාලියේ වර්සෝහි දාරියෝ ෆෝ උපත ලබනවා. නාට්‍ය රචකයෙකු පමණක් නොවන ෆෝ ඉතා දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්, රූපණවේදියෙක්, වේදිකා පසුතල සැලසුම් ශිල්පියෙක් මෙන්ම ගීත රචකයෙකුද වෙනවා. පශ්චාත් යුධ සමයක ආගම, දේශපාලනය සහ බලය මහජනයා කෙරේ ක්‍රියාත්මකවන ආකාරය සහ මහජනයාගේ ප්‍රතික්‍රියා පාදක කර ගනිමින් ෆෝ නිර්මාණකරණයේ යෙදුණා. කම්කරු පන්තිය දෙස දයාද්‍ර හැඟීමකින් පෙරමුණ ගත් ෆෝ සංවිධානාත්මක අපරාධ, බල දේශපාලනය, දූෂණය, කම්කරු අරගල තම නිර්මාණයන්ට විෂය කොටගත්තා. 1997දී ඔහු සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගයට ද හිමිකම් ලැබුවා.
ෆෝගේ ප්‍රචලිත නාටය කිහිපයක් ලංකාවේ නිෂ්පාදනය වුණා. මේ ඒ අතරින් කිහිපයක්.
01. Accidental Death of an Anarchist (1970)
සාක්කි - 1986 විජිත ගුණරත්න
වරෙන්තු - 1995 එච් ඒ පෙරේරා, පරාක්‍රම නිරිඇල්ල
අරාජිකයා මරා - 2011 නලින් ලුසේනා
02. Trumpets and Raspberries (1981)
ද්විත්ව - ප්‍රසන්න විතානගේ
දෙබිඩ්ඩෝ - ප්‍රසන්න විතානගේ
03. We Won't Pay! We Won't Pay (1974)
ගෙවන්නත් බෑ අපි ගෙවන්නෙත් නෑ - කපිල කුමාර කාලිංග
මහේෂ් කුමාර
අචිනි වික්‍රමතුංග
අතුල ජයසිංහ
04. One was Nude and One wore Tails (1985)
හොරු සමඟ හෙළුවෙන් - ප්‍රසන්න විතානගේ
එර්වින් පිස්කාටර්, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ ප්‍රවණතාවන් තම නාට්‍යය සමඟ ගලපා ගත් ෆෝ ඉතාලියානු ජන රංග රටාවන් ද තම නිෂ්පාදනයන් සඳහා ප්‍රබලව භාවිතා කළා. එහිදී "කොමීඩියා ඩෙල් ආටේ" යන ජන රංග රටාවේ භාවිතාවන් යොදා ගැනීමට ඔහු සමත් වුණා. "කොමීඩියා ඩෙල් ආටේ" (commedia dell'arte) යන්න "tradition of on-stage improvisation". ලෙස විකිපීඩියා විශ්වකෝෂය හදුන්වා දී තිබෙනවා. එය නලුවා ප්‍රමුඛ කලාවයි. එනම් යම්කිසි කතාවස්තුවක් අනූව වේදිකාව මත සිදුකෙරෙන ක්ෂණික නිරූපණයන්ගේ සම්ප්‍රදාය ලෙස සරලව හැදින්විය හැකිය.
එම කරණාව සත්‍යක් බව පසක් කර ගැනීමට අපගේ වේදිකා නිෂ්පාදනය සමඟ සම්බන්ධ වී සිටිය කාලය තුළ අපට ඉතා හොඳින් ප්‍රත්‍යක්ෂ වූවක්. එනම් ෆෝගේ පිටපත ඉතා සුඛනම්‍ය ආකාරයෙන් නව අත්හදාබැලීම් සමඟ කටයුතු කිරීමට හා ක්ෂණිකව රංගයේ වෙනස්කම් කිරීමේ හැකියාවෙන්ද යුක්තය. නමුත් මෙය ඉතා පරිස්සමින් කළ යුතු කටයුත්තක් බැවින් නිෂ්පාදන කාලය පුරා නාට්‍ය කණ්ඩායම තුළ නිතරම වාද විවාද හා ගැටීම් වලට එළඹුණා. මන්ද ෆෝගේ පඨිතය ඉතාම සියුම් දේශාපාලනික කාරණා අවශෝෂණය කරගෙන සිටින්නක්. ඉතා සුළු වෙනසකදී පවා මූලික හරය නැති වී හාස්‍යය පමණක් මතු වීමේ භයානක කමද ඒ තුළම පවතින්නක්.
"දාරියෝ ෆෝ විසින් යෝජනා කරනු ලබන රංග රටාව අවස්ථානුකූලව මතුකරනු ලබන ප්‍රශ්න කිරීම නිසා ඇතිවන සමාජ ප්‍රතිරෝධයන් ඉතා සියුම් අන්දමට ප්‍රේක්ෂකයින්ගේ දේශපාලන දැනුම සමඟ හාස්‍යය මතුවන අන්දමට ගැටෙන්නට සලස්වමින් මනස අවදි කෙරෙන ආකාරයට දැනුවත් ලෙස භාවිත කළ යුතුය. නැතහොත් මූලික දේශපාලනික හරය එයින් ඉවතට යෑම වැලැක්විය හැකි නොවේ".
- විජිත ගුණරත්න -
වත්මන් ශ්‍රී ලාංකේය සමාජය බොහෝ කැළඹීම් සහගත තත්වයන්ගෙන් යුක්ත බව පේනවා. පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය ඉතාම අවුලෙන් අවුලට පත්ව ඇත. සඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයන්ම අර්බුදයන්ට මූණ පා මහ පාරට වී බලාසිටින බව පෙනේ. ඒ අතරම තරු පහේ භෝජනාගාර සහිත උස කුළුණු අහස සිප ගැනීමට බලා සිටී. මේ හා සමඟ බලනවිට ෆෝගේ අවශ්‍යතාවය අපට වැඩි වැඩියෙන් හැඟේ. ඉතින් යුගයෙන් යුගයට අලුත් වෙවී අප අතරම ඉන්න ෆෝ, ඔබ අපට අත්‍යවශ්‍යය යි.
ඉතින් අපි දාරියෝ ෆෝ සමඟ ...
No comments:
Post a Comment