Friday, August 17, 2012

අම්මා ගේ දීර්ඝ සුසුම.

අම්මා කියන්නේ මහා අරුම පුදුම විශ්ව ශක්තියක්. ජීවය කියන එක පවතින්නේ අම්මා කියන මේ විශ්ව ශක්තියේ බලයෙන්.ඒ වගේම අම්මල කියන්නේ අම්මල .ඒ නිසා සෑම අම්මෙක් ම එක්තරා පොදු ගුණාංග කිහිපයක් දරාගෙන ජීවත් වෙනවා කියල මම හිතනවා. තමන්ගේ දරුවෝ ගැන තමන්ගේ ජීවිතය පරදුවට තියල ඒ අයගේ සැපේ දී දුකේ දී ඉතාම සංවේදී වන මනුස්සයෙක් අම්මා.මට අම්මව විස්තර කරලා පැහැදිලි කරලා කියන්න තේරෙන්නේ නෑ. ඒක නොදැනුවත්ව කරන්න ගියොත් අම්මලට කරන විශාල අසාධාරණයක්. හැබැයි ඒක මැක්සිම් ගෝර්කි වගේ කෙනෙක් ඉතාම ලස්සනට සාහිත්යාකරණය කරලා තියෙනවා.

ඒක එහෙමයි කියල අපි හැමෝම දන්නවා. ඒත් අපි නොදැනුවත්වම ජීවිතේ බොහෝ අවස්ථාවලදී අපිට අම්මව මඟ ඇරෙනවා. ඒක මට නම් ජීවිතේ ඉතාම තදින් දැනිල තියෙනවා. විශේෂයෙන්ම විශ්ව විද්යාමලයට ඇතුළු උනාට පස්සේ. කැම්පස් කටයුතු එක්ක අපි කැම්පස් එකට සහ වෙනත් වැඩ වලට හිර වුණාම අම්මට කතා කරන්නවත්, ගෙදර යන්නවත් වෙලාවක් නැති වෙනවා. දරුවෝ දකින්නේ නැතිව අම්මල ට සෑහෙන දුකක් වේදනාවක් ඇති වෙන බව දැනගෙන හිටියට අපිට ඒක හරියටම කවදාහරි ඉඳිකටුවකින් ඇනුණා වගේ සීරුවට දැනිල තියෙනවද?

පසුගිය සතියක්ම ගෙදරින් ආවට පස්සේ Editing Studio එකේ නතර වෙන්න සිද්ධ වුණා. කාලයක් එකතුවෙලා තිබුණ වැඩක් හින්ද නතර වෙලා ඒක ඉවර කරන්න සිද්ධ වුණා. හරියටම වැඩේ ඉවර වෙන තැ‍න සතියක් ගතවෙලා තිබුණ.එදාම හවස කැම්පස් යන්නත් සිද්ධ වෙලා. හැබැයි අම්මට කියල ආවේ කැම්පස් යන්න කලින් ගෙදර ඇවිත් යනව කියල. වැඩේ නිසා කැම්පස් යන දවස එනකල්ම ගෙදර යන එක ගැන සිහි උනේ නෑ. පසුගිය රැයෙත් රෑ වෙනකල් වැඩ කළ නිසා සෑහෙන්න දවල් වෙනකල් නින්ද ගියා. ඇහැරිලා බලන කොට හොඳටම පරක්කු වෙලා. ගෙදර ගිහින් එන්න වෙලාවක් නැති නිසා කඩවතින් ම කොළඹ එන්න පිටත්වෙන්න ඕනි කියල තීරණය කළා. අම්මට කෝල් එකක් අරගත්තා. දැන් ගෙදර එන්න වේලාවක් නැති නිසා මෙහෙන්ම දවල්ට කාලා කොළඹ යනවා කියල අම්මට කිව්වා. කතා කරමින් හිටි අම්ම ගේ හද ගත යන දෙකම ක්ෂාණිකව මොහොතක් නතර වුණා වගේ දැණුනා. ඒත් එක්කම අම්ම දිග සුසුමක් පිට කළා. “ඔව් ඔයාට මෙහෙ ඇවිත් ගියොත් දැන් දවාලේ මහන්සියත් වැඩියි. කමක් නෑ එහෙනම් ඔතනින්ම පරිස්සමෙන් යන්න.” අම්මගෙන් අවසර ගත්ත මං ක්ෂිණිකව ලැහැස්ති වුණා. නමුත් ලැහැස්ති වන අතරේ ඉදිකටුවකින් කෙනිත්තුම් දෙන තරමේ වේදනාවක් ශරීරය අතරේ ගුලි ගැහෙන බව හැගෙන්න ගත්තා. ඒක මොකක්ද කියල කල්පනා කරනකොට තමයි දැනෙන්න ගත්තේ ඒක අර අම්මා පිට කරපු දීර්ඝ සුසුම කියල.
ඒ සුසුම ලොකු බරක් සහිතව පිට වුන එකක් බව මට කල්පනා වෙන්න ගත්ත. සමහරවිට මම ගෙදර ඒවි කියල පුංචි හරි බලාපොරොත්තුවක් අම්මගේ හිතේ ඇඳිලා තියෙන්න ඇති. දවල්ට බත්කටක් දීල කොල්ලගේ මුණ බලලා පරිස්සමින් යන්න කියන්න මඟ බලන් ඉඳල කඩවුණ හැගීමක බර ගතිය ඒ සුසුමේ තැ‍වරිලා තිබුණා. ඇයි මට ඒක ඒ වෙලාවේවත් ඊට පෙරවත් නොදැනුනේ. අම්මට දැනුණ ඒ හැගීම අපිට පරිවර්තනය කරගෙන ඒ හැගීමේ තරම විඳ ගන්න පුලුවන්ද කියල උත්සාහ කළා. ඒක නිකන් අලුතින්ම පෙම් සම්බන්දතාවක් පටන් ගත් පෙම්වතෙක් තම පෙම්වතිය එනකල් කාලයක් බලන් ඉන්නවා. වෙලාව ආවම එයා නියමකරගත් තැ‍නට යනවා. හැබැයි එතැනදී එයාට දැනගන්න ලැ‍බෙනවා එයා තව කාලයකට එන්නේ නෑ කියල. ඔව් එතකොට දැනෙන බරපතල හැගීම. ඒක වෙන්න ඕන. ඒත් අපි දන්නේ නෑ ඒ එම හැගීමම ද කියල. ඒ අපේ අම්ම. අම්මට දැනෙන විධිය අපිට කවදාවත් හිතාගන්න බැරි වේවි.
මේ විදියට ජීවිතේ අපි නිසා තව කොච්චරක් දීර්ඝ සුසුම් පිට කරලා අම්මා ඒ හැගීම්, ඇතුළේ හිර කරගන්න ඇත්ද?මට කැම්පස් එනකල්ම අම්මාගේ දීර්ඝ සුසුම ගැන හිතෙන්න පටන් ගත්තා. කොයි තරම් අම්මාව මඟ ඇරුනත් කරදරයක් වෙලා අනාථ වෙලා කර කියා ගත නොහැකි ව හිර වන මොහොතේ අම්මව මතක් වෙලා ඇහැ අගට කඳුලක් උනන්නේ ඇයි කියල මට හිතුණා. අපිට හැම දේම නැති වෙලා අවසන් මොහොතේ අම්ම ව මතක් වෙලා කඳුළු උණනවා. ඒත් මොන දේ තිබුනත් අම්ම අපිව මතක් කරලා උණන කඳුළු කොච්චරනම් හංගගෙන ඇත්ද? ඉඳිකටුව මගේ ලේ මස් ඇට නහර විදගෙන ඇතුළට ම බැස්ස.
මට වෙලාවට කැම්පස් එන්න පුළුවන් වුණා...

1 comment:

  1. හැම අම්මගේම නොවුනත් දාරක සෙනෙහස උඩුදුවන අම්මගේ ඒ හුස්ම , උණුහුම් හුස්ම තමා අපේ ජිවිත වලට පාර කියන්නේ ....

    ReplyDelete