Friday, August 31, 2012

අපේ කඳුළු සහ උන්ගේ ගෑස්.

















අම්මේ තාත්තේ -  මේ අහන්න
අයියේ අක්කේ   - මේ අහන්න
අධ්‍යාපනේ        - බේරගන්න
අපිත් එක්ක       -  එකතුවෙන්න.

ඒ ඊයේ (29/08/2012) දවස පුරා කොළඹ කොටුව සහ පිටකොටුව පුරා දෙසවන් දෝන්කාර දුන් ශිෂ්‍ය සටන් පාඨයන්ගෙන් එකකි.මම යි 'මැම්බයි' කඩවතින් කොළඹ කොටුව බස්‌ එකකට නැග්ගේ එවන් දහසක් සටන්පාඨ හිතේ තියාගෙන.ජංගම දුරකථනය නාද වේවී පැවසුවේ රුහුණෙන්, රජරටින්, වයඹින්, එවන් සටන් පාඨ හිත දරාගත් ශිෂ්‍ය ශිෂ්‍යයාවෝ විශාල පිරිසක් අගනුවර බලා බස් රථවලින් ඇදෙන බවයි.

කොටුව ස්ටේෂන් එක ලගින් බහින කොටත් එහි විශාල විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් පිරිසක් රැස් වෙලා හිටියා.වෙලාව 10.30 යි. නිදහස් අධ්‍යාපනය සුරකීමට හා විශ්වවිද්‍යාල විවෘත කීරීම වෙනුවෙන් පැවෙත්වෙන පෙළපාලිය ලහි ලහියේ සුදානම් වෙමින් තිබුනා.ශිෂ්‍යයෝ ඊට අවශ්‍ය බැනර්,පෝස්ටර් සුදානම් කරමින් හිටියා.වට පිට මූණු දෙස විපරම් කරමින් ගමන් කළ අපිට අපේ 'දලන් ', 'ඉමා' ඇතුලු පිරිස මුණ ගැහුණා.ටික වෙලාවකින් පිරිස තවත් වැඩි වුණා.හොස්ටල් පහසුකමක්වත් නැතිව ඈත ගම් බිම් වල ඉඳල දුම්රියෙන් බස් රියෙන් අගනුවර කරා ඇඳෙන මේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැකල මම පුදුම වුණා.ශිෂ්‍යන් අතර හනි හනිකට ක්‍රියාකරන ශිෂ්‍ය සහෝදරියන් මගේ පුදුමය තවත් දියුණු කළා.ගෙදරට වී සිටීමට කාලය තිබිය දී ඔවුන් මේ අමතර කටුවක් කන්නේ ඇයි? මගේ  පරම්පරවේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැන මට අසීමිත ආදරයක් දැ‍නුණා.

"මචං අපි මේ දත කන්නේ පාලකයෝ කෙළින බුල් වලටනේ.අධ්‍යාපනේ පැත්තකින් තියල ශිෂ්‍යන්ට අරගල කරන්න සිද්ධවෙලා තියෙන්නේ පාලකයන්ගේ අනිසි බලපෑම් වලට නොමනා තීරණ වලට ශිෂ්‍යයෝ විදියට දත කට පියාගෙන ඉන්න බැරි නිසා. නිදහස් අධ්‍යාපනේ ඉදිරි පරම්පරාවටත් ලැබිය යුතුයි කියල අපි විස්වාස කරන නිසා." දලන් කියාගෙන ගියා.

ඒ අතර අපේ කැම්පස් එකේ සහෝදර ශිෂ්‍ය පිරිසත් එතනට සේන්දු වුණා.සන්ටෙල්,රුසිය සහ ෆාම් යන අපේ මිතුරියන්ද එහි විය.එමෙන්ම මා නන්නාදුනන සහෝදරියක් ද සිටිය, ඇය ඉමා ගේ මිතුරියක බව බැලූ බැල්මට ම පේන්න වුණා.මා අසල ම ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා. උන් වහන්සේ තම ශිෂ්‍ය ප්‍රජාව වෙත සාවදානව උනන්දුවෙන් බලා හිටියා. පෙළපාලියට අවශ්‍ය සටන් පාඨ,බැනර්,පෝස්ටර් ශිෂ්‍යන් අතරේ බෙදා හැරුණා.මා අතට පත් පෝස්ටරයේ  ' ආචාර්ය ගැටලුව වහා විසදනු!' යනුවෙන් සටහන් වෙලා තිබුණා.නිදහස් අධ්‍යාපනය රැකගමු! විශ්වවිද්‍යාල වහා විවෘත කරනු! ආදී සටන් පාඨ රැසක්‌ ශිෂ්‍යන් අතරේ බෙදී ගියා.මා අසලම සිටි සහෝදර ශිෂ්‍යය පිරිසක් මිනී පෙට්ටියක් ඔසවා ගනු දැක්කා.එහි එක් පැත්තක මෙසේ සඳහන් වෙලා තිබුණ.

'නිදහස් අධ්‍යාපනය',  'උපත - කන්නන්ගර සමය'

එහි අනෙක් පස මට නොපෙනුනත් අනෙක් පස රැදී ඇති පාඨය සිහි වී  මට සිනහ ගියා.මෙමෙ ලේඛනය කියවන ඔබටත් එය නිතෙතින් ම සිහි වේවි.දෙන  රැගත් ශිෂ්‍යන් සිව් දෙනා පාර බලා පිටත් වුණා. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පෝලිමේ මූලාරම්භය හෙබ වූ අතර තවත් සහෝදර පිරිසක් පෝලිම සංවිදානය කරමින් උන්නා.කිසි කලෙක හමු නොවූ ශිෂ්‍යන් මෙහි උවත් ඔවුනොවුන්  ක්‍රියා කළේ දිගු කලක සිට දැන හැදිනාගත් මිත්‍රයන් සේ සමගියෙන් හා සහයෝගයෙන්.එකම අරමුණකින් එකිනෙකා බැඳී උන්නා.

අපි පෝලිමේ මැදින් පෙළපාලියට එකතු වුණා.පෝස්ටර් අතැ‍තිව ස්ටේෂන් එක දෙස බලනකොට හරි අපූරු දර්ශනයක් දැ‍කගත හැකි වුණා.සාමාන්‍ය ඇඳුමෙන් සැරසී සිටි ශිෂ්‍ය පිරිසක් ලහි ලහියේ තම නිල ඇඳුමින් සැරසෙමින් සිටියා.බැලූ බැල්මට ම ඔවුන් හඳුනාගත හැකි වුණා.ඒ වෛද්‍ය පීඨ සිසුන්.ඔවුන්ගේ නිල ඇඳුමෙහි ධවල වර්ණය හා ස්වාමීන් වහන්සේලාගේ කසා පැහැය පෙළ පාලිය අලෝකමත් කළා.ශක්තිමත් කළා.

මචං උඹ කාලද?
පිටිපස සිටි සහෝදරයෙක් තවෙකෙකුගෙන් ඇසුවා.
තාම කැවේනම් නෑ.හැබැයි තව ටිකකින් කන්න ලැ‍බෙයි.අරබලපන්!

ඔහු පාරේ අනෙක් පසට මුහුණ යොමමින් යමක් පෙන්නුවා.පාරේ එහාපස පොලිස් බස් රථයක් නිහඩව බලා උන්නා.ඒ අතර පොලිස් නිලධාරීන් කීප දෙනෙක් බස් රථ හා වාහන වෙනත් දිශානතීන් ට හරවමින් පෙළපාලියේ දිග පළල තීරණය කරමින් එය ඊට අදාල අවකාශය තුළ රඳවා තැබීමේ දුෂ්කර ව්‍යයාමයේ නිරත වෙමින් හිටියා.

සටන් පාඨ රැගත් අත් පත්‍රිකා ශිෂ්‍යන් අතර බෙදා හැරුනා.රැල්ලක් වගේ පසුපසින් ඒ සටන් පාඨ ගිගුරුම් දෙන්න පටන් ගත්තා.නැවත නැවත පුනරුච්චාරණය වුණා.

"කපා කපා  කෑලි කපා
අප යන මඟ වලකනු බෑ
ලේ හැලුනත් මහා පාරේ
අපේ ගමන අපි යනවා "

පෙළපාලිය සීරුවට ඉදිරියට ඇඳෙන්න ගත්තා.ඉදිරි පෙළ ශිෂ්‍යයෝ විශාල දිග බැනර පාර හරස් කරමින් අල්ලාගෙන පෙරමුණ ගත්තා.පෙළ පාලිය කොටුව හරස් පාලම යටින් හෙමි හෙමින් ලේක්හවුස් වට රවුම දෙසට ඇදෙන්න වුණා.

සටන් පාඨ අහස් කුස දෙදරුම්කන්න ගිගිරුවා.සටන් පාඨයන්ගෙන් ප්‍රමුදිත පළමු කඳුළු බිඳු අහසින් වැගිරෙන්න පටන් ගත්තා.කොටුව වසා අඳුර පැතිරුණා. ශිෂ්‍ය  කන්නලව්වෙන් කම්පා වූ අහස් කුස මහපොළව මත කඩා හැලුණා.ජිල් බෝල වගේ වැහි බිඳු අපිව සීතලෙන් වෙළාගත්තා.වැස්ස එන්න එන්නම වැඩි වුණත් එකෙක්වත් එක කුඩයක් ඉහිලුවේ නැහැ.සෙවනක් හොයාගෙන දිව්වේ නැහැ.හැමෝම එක වගේ එක වැස්සට තෙමුන.සීතලේ ගැහෙමින් දැඩි අධිෂ්ඨානයෙන් ඉදිරියටඇදුනා.කඩපිලවල් වලට වෙලා වහලවල් මතට වෙලා මහජනයා සහ මාධ්‍යකරුවන් බලන් උන්නා.පොලිසිය රේන්කොට් වලින් ආවරණය වුණා.ඒත් අපි ඒ වැස්සේ තෙමුණා.

අපේ ශරීර,ඇඳුම් වැහි දියෙන් තෙත බරිත වුණා.වැහි බිඳු කපාගෙන අවට බලන කොට ශිෂ්‍ය සහෝදරියන්ගේ දිග කොණ්ඩා පීරාගෙන වතුර සීරුවට බහින හැටි දැක්කා.අපහසුව නොබලා,වෙහෙස නොබලා ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ඔවුන් සහෝදර බැම්මෙන් අරමුණ කරා ඉදිරියට ඇදුනා.පාලමට ඉදිරියෙන් පෙළපාලිය නැවත විරුද්ධ දිශාවට හැරෙව්වා.පෙළපාලිය පිටකොටුව දෙසට ගමන ආරම්භ කළා.නොනවතින වර්ෂාවේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ද ශිෂ්‍ය ශිෂ්‍යවෝ ද පොදියට තෙමෙන්න වුණා.ඉදිරියට ඇදෙන දෙපාවලින් මඩ සහ වතුර 'චිටි චිටි' ගා ශරීරවල ගැ‍ටුණා.මඩවලින්  ශිෂ්‍යයෝ නොසැලී ඉදිරියටම ඇදුනා.පිටකොටුව රථවාහන පොලිස් අංශය ඉදිරියෙන් පෙළපාලිය නැවත කොටුව දෙසට හැරුණා.

ඈත පෙනෙන පෙනෙන අත පොලිස් මුරකාවල් ය.  මෑත ඈතින් ඈතට විහිදී ගිය පෙළපාලිය යි.දෙපස ජනයා පදික වේදිකාවේ සහ උස් මහල්වලින් එබිකම් කරමින් කුමකින් කුමක් වේදැ යි කුහුලින් යුතුව බලා සිටියා.ඈත කැරලි මර්දන ඒකකය,හදිසි කාර්ය බලකාය,පොලිසිය පෙළපාලියෙන් එල්ලවෙන ඕනෑම අභියෝගයකට සැරසෙමින් සිටී. ජල ප්‍රහාරක යන්ත්‍ර රා පෙවූ ඇතුන් සේ මත් වී සිටියා.

මෑත වර්ෂාවෙන් ද නොසෙලෙමින් කළු, සුදු, රතු, සටන් පාඨ  රැගත් ශිෂ්‍යයෝ සීරුවෙන් ඉදිරියට ම ඇදුනා.මිනී පෙට්ටිය ද සිව් උරක්‌ මත අප ඉදිරියෙන් ඇදුනා.මා අත තිබූ පෝස්ටරය වැහි දියෙන් අතටම දියවෙමින් තිබුණා. නාට්ටාමියෙක් තම ඩක්කුවත් සමඟ මහ පාරට වී වෙන්න යන සිදුවීම දිහා කට ඇරගෙන උනන්දුවෙන් බලාන හිටියා.මිනිහත් ශිෂ්‍යයොත් එක්ක එකට එකම වැස්සේ තෙමුණා.ස්ටිල් කැමරා ,වීඩියෝ කැමරා වර්ෂාව මැද්දෙන් පෙළපාලියේ පණිවිඩය ජනයා අතරට ගෙන යෑමේ  අරගලයේ යෙදෙමින් උන්න.
පෙළපාලිය කොටුව ස්ටේෂම,පාලම  පසු කරගෙන ඉදිරියට ඇදුනා.පොලිසිය ආරක්‍ෂිත ගේට්ටු තර කරමින් තව තවත් ලෑස්ති වුණා.

මං අපේ මිත්‍රයන්  ළඟ පාත සිටී දැයි බැලුවා.ඔවුන් උද්ගොෂණයේ උද්දාමයෙන් ඇළලී සටන් පාඨ කියමින් ඉදිරියට ම ඇදුනා."කෙල්ලෝ  ටික බලපන්" ඉවෙන් වැටහුණු අනතුර දැ‍නගෙන 'දුමියා' මට සංඥා කළා.සන්ටෙල්,ෆාර්ම්,රුසියා තෙත බරිත ශරීරත් දරාගෙන ඉදිරියට ම ඇදෙමින් උන්නා.නන්නාදුනන ශිෂ්‍යාව මහා හඩින් සටන් පාඨ ප්‍රතිරාව නැංවූවා.සියල්ලන්ගේ ම ගමන පෙරට වඩා කඩිසර වුණා.වේගය වැඩි වුණා.පෙළපාලිය වේගයෙන් ඉදිරියට ම ඇදුනා.

මහා ඝෝෂාවක්‍ සමඟ ගමන කලබල ස්වභාවයක් ගත්තා.ඉදිරියෙන් පෙළපාලියේ ගමන් මඟ අවහිර කර ඇති බව පැහැදිලි විය. ඉදිරියේ සිදුවෙන කිසිම දෙයක් අපි උන් තැනට පැහැදිලි නොවීය.අපි මහ පාර බෙදා ඇති යකඩ වැටවල් දිගේ එල්ලෙමින් ඉදිරියට යා ගැනීමේ කාර්ය යේ යෙදෙමින් උන්නා.අපේ පළමුවසර සහෝදරයින් තම ජංගම දුරකථන වලින් සියලු සිදුවීම් වීඩියෝ කරමින් ඉදිරියට ඇදුනා.

ඇයි මචං මෙතනින් එහාට යන්න දෙන්නේ නැත්තේ ?
නන්නාදුනන ශිෂ්‍යයෙක් මගෙන් ඇහුවා.
ඉස්සරහා අධි ආරක්‍ෂිත කලපයලු නේ මචං.
එතකොට අපි එහෙට ගියොත් අධි ආරක්‍ෂිත කලාපය ඉඳුල් වෙනවද මචං?
ඔව්නේ මචං, අධි ආරක්‍ෂිත කලාපයේ උත්තරීතර කන්‍යාභාවයට හානියක් වෙන්න පුළුවන් නේ.
ආ එහෙමද? එතකොට පොලීසිය කරන්නේ කොන්ඩම් එකේ රාජකාරිය වෙන්න ඇති.

ඒ කතාවට මටත් අහල පහළ සිටී උන්ටත් හිනා ගියා. මහාචාර්ය සෝමරත්න බාලසූරියන් ගේ  'මහමඟ සිදු වූ ඇබැද්දියක්' කවිය නිතෙතින් සිහි විය.අධි ආරක්‍ෂිත කලාපය පිළිබඳව උත්ප්‍රසාත්මක ප්‍රහසනයක් වූ එය කියවා රසවි‍න්ඳෙමි.අද මගේ පරම්පරාවේ ශිෂ්‍යයන් සමඟ අධි ආරක්‍ෂිත කලාපය පාමුල එය අත්විඳිමි.

 මහා ශබ්දය හේතුවෙන් කතාව නවතා ඉදිරිය බලන අපි ක්‍රියාත්මක වෙමින් පැවති ජල ප්‍රහාරක යන්ත්‍ර දැක්කා.මඳ කිපි ඇතුන් සේ ශිෂ්‍යන් දෙසට එම යන්ත්‍ර රාජයන් ජලය විදිමින් හිටියා.මඩ පැහැ වතුර සැරට, කැපෙන ශරීර දරාගැනීම ට නොහැකිව ශිෂ්‍යන් මදක් පහුබැස්සා.එක පොදියට පාර මැද යකඩ වැටවල් දෙසට පිරිස තෙරපුණා.වැට අසල සිටි ශිෂ්‍යයෙක් පිරිසටත් වැටටත් මැදිව එක තැ‍න වැටුණා.ඇස් ඇරගත නොහී ඔහු අනිත් අයට පිටු පසට දුවන ලෙස අතින් සංඥා කළා.වතුර පහර ඍජුවම ඔහුගේ ශරීරයට වැදුණා.ඔහු එතනම දිගා වුණා.සහෝදර ශිෂ්‍යන් කීපදෙනෙක් පැන ඔහුව වත්තම් කරගත්ත.මේ අතර ශිෂ්‍ය භික්ෂු ස්වාමීන් වහන්සේලා ජල පහර කාගෙන ඉවසමින් නොසැලී හුන් තැනම හිදින බව පෙනුණා.දුම්රියපොලේ දී මා අසල ම හිදි ස්වාමීන් වහන්සේ ඒ ස්වරූපයෙන් ම ජල පහර කපාගෙන හිටගෙන හිටියා.

පස්සට වරෙන්!  පස්සට වරෙන්!  දුමියා කෑගැහුවා.

ඒ සමගම දුම් රොටු පිට කරමින් උඩින් ආ බුලට් වැනි යමක් අපි අසලම වැටුණා.වැටුණ සැනින් ඒවායේ දුම ඝන සැරේට වැවෙන්න ගත්තා.

දුවපන් ! දුවපන් කඳුළු ගෑස් !.



ශිෂ්‍යයෝ සී සී කඩ දිව්වා.එකෙකු වැටෙන කඳුළු ගෑස් උණ්ඩ අල්ලා ඉවතට විසි කරන මෙහෙයුමේ හිටියත් ඔහුට එය එක දිගට කරගත නොහැකි වුණා.ඔහුට වඩා වේගයෙන් උණ්ඩ කඳුළු ගෑස් පිට කරමින් පරිසරය විෂ දුමෙන් වෙලා ගත්තා.පෙළපාලියේ හරි මැද හරියෙන් උන්න අපි අසලට ම උණ්ඩ එක දිගට වැටෙන්න ගත්ත.

යන්තම් ඇස් ඇරගෙන තදබදය ඇතුළේ මිතුරියන්ට කුමක් වීද හොයන්න ගත්ත.කිසිවෙකුත් දකින්නට නොහැකි වූයෙන් අඩියක් පස්සට තියන කොටම දුමක් අස්සෙන් සන්ටෙල් ගේ භීතියට පත් මූණ දැ‍ක ගත හැකි වුණා.ඇගේ අතින් අල්ලා ගැනීමට පැන්න ද තව දුරටත් විෂ දුමෙන් ඇස් ඇරගෙන සිටීමට නොහැකි වුණා.ඇගේ රූපය මා ඉදිරියේ බොද වී යනු පෙනුණා. ඇස් දෙක තුළින් විදුලි ඉරක් සේ පැන නැග්ග වේදනාව ඇස් දෙක දෙහි ලෙලි වගේ මිරිකුවා. ක්ෂණිකව කඳුළු මුදා හැර නැවත ඇස් ඇර බැලුවත් සන්ටෙල්වත් අනික් මිතුරියන්වත් දුටුවේ නෑ.විවෘත කරගත නොහී දෑස් තදින් පිය වුණා.  ඉදිරිය යැයි සිතන දිශාවට හැකි වේගයෙන්  දිව්වා.ඇස් ඇර බලනකොට මල්වත්ත පාර පහුකරමින් හිටියා.

දුමෙන් කොනිතිගහන ශරීරයත් ආශ්වාස කිරීමෙන් පෙනහළු තුළ නළියන වේදනාවත් ඇස් තුළ කැකෑරෙන වේදනාවෙනුත් මිරිකෙමින් පදික වේදිකාව දිගේ ඉදිරියට ඇදුනා.අවට කඩවල් වේගයෙන් තම දොර පියන් හකුළා ගත් හෙයින් වතුර බින්දුවක් හෝ ඉල්ලා ගැනීමට තැ‍නක් නොමැති ව ඇස් මිරිකමින් ඉදිරියට සේන්දු  වුණා.

පිරිසිදු හුස්ම පොදක් අල්ලගන්න නවතිනකොට අපේ අනිත් එවුන් ටිකත් ඒ පැත්තට දුවගෙන අවා.එත් අපේ යෙහෙළියෝ අහලක දක්නට නොමැතිවී ම නිසා අපි කලබල වෙලා ඔවුන් ව හොයාගෙන ආයෙත් ඉස්සරහට දුවන්න වුණා.ඉදිරියට තියන අඩියක් අඩියක් ගානේ විෂ දුම් සැර ශරීරය වසාගත්තා.පදික වේදිකාවක් මත හිඳගෙන කඳුළු වගුරුවමින් ඉන්න අපේ යෙහෙළියන් දැ‍කීමෙන් සිතට දැ‍නුනේ ලොකු සහනයක්.ඒ වන විටත් මැම්බා සහ තවත් පිරිසක් ඔවුන් ව සොයාගෙන එහි ලගා වී තිබුණා.

"අපි කඩේකට රින්ගා ගන්න හැදුවා.ඒ කඩේ හිටපු මිනිස්සු ඕගල්ලෝ ඇතුළට එන්න එපා කියලා, අපිව පන්න ගත්තා"

ෆාම් කඳුළු බේරමින් කියන්න වුණා.අපි ඔවුන් ගේ හිසට අත තබා ඔවුන් ව සැනසීමට උත්සහ කළත් ඒ හැඩුම් නවත්තන්න බැරි බව පෙනුණා. ඒ ගලා ගිය කඳුළු, කඳුළු ගෑස් වලින් පමණක් වෑහෙන ඒවා නොව මනුෂ්‍යත්වය පිළිබඳ උපන් සංවේගයත් ඒ එක්කම රූටා වැටුණා.

විෂ දුමෙන් සිහි මූර්ජා වූ සිසුවෙක් ව අනිත් උන් කර තියාගෙන ආවා.පදික වේදිකාවේ දිගාකර හුස්ම ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයුවා. තවත් ශිෂ්‍යයෙක් කොහෙන්දෝ හොයාගත් වතුර බාල්දියක් අරන් දුවගෙන ආවා.සිහි මූර්ජා වී සිටි ශිෂ්‍යාගේ ශරීරය ජලයෙන් සිසිල් කළ පසු ක්‍රමයෙන් ඔහු යථා තත්වයට පත් වෙන බව පෙනුණා. ඇස් ඉදිමුණ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ යකඩ වැට බදාගෙන පදික වේදිකාවේ තැන තැන වේදනාවෙන් කඳුළු වගුරවමින් හිටියා.ඒ අතර එකෙක් දෙන්නෙක් සොයාගත් වතුර බාල්දියකින් අමාරුකාරයන්ට  සාත්තු කිරීමේ වෙහෙසකර උත්සාහයේ නිරතව හිටිය.

දැවෙමින් තිබූ ශරීරවලට පිළිසරණක් වෙමින් අහස් කුස නැවත කඩා හැලුනා.ඒ වැස්සට අපේ ශරීර නැවත සිසිල් කරන්න සමත් වුණා.තැන තැන වේදනාවෙන් හිටි එකා දෙන්න බැගින් මහපාරට යලිත් එකතු වුණා.පොලිස් මුරකාවල් ළගට එනකොට ශිෂ්‍යයෝ එක පොදියට ආයෙත් එකතු වුණා. මහා හඩින් නැවත සටන් පාඨ  ප්‍රතිරාව නැංවුවා.අමාරුකාරයන් පවා වේදනාව මැඩගෙන සටන් පාඨ කියමින් පෙළපාලියට එකතු වුණා.

ශිෂ්‍ය සංගම් නියෝජිතයන් කිහිපදෙනෙකු කෙටි හා වේගවත් කතා කිහිපයක් පැවැත් වූවා. අවසානයේ අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍යය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා ද  දීර්ඝව විස්තර සහිතව නූතන අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙහි ඇති ගැටලු හා අභියෝග පැහැදිලි කළා.තව දුරටත් ශිෂ්‍යයන් වශයෙන් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමටත් අසාධාරණයන් ට එරෙහි වීමටත් මේ සෑම කතාවක් තුළින්ම  කතිකාවක් ගොඩනැගුවා.

මේ සෑම කතාවක් ම අවසන් වනතුරු පොලිසියේ නෝනා මහතුන් ට අහගෙන සිටීමට සිදු වුණා.එය හොද ප්‍රවණතාවයකි.මන්ද ශිෂ්‍යන් ලෙස පොලිසිය ද මහජනයා ද එකවර ඇමතීම ට අපට අවස්ථාවක් නොලැ‍බේ.

ශිෂ්‍යන් ලෙස අපේ ඉල්ලීම් සහ බලපෑම් නිවැරදි බව නිල ඇඳුමට යටින් ඉන්න පොලිස් අම්මට,තාත්ත ට දැ‍නෙන්න ඇති.මොකද තමන් ද තම දරුවන් ද මෙකී නිදහස් අධ්‍යපනයෙන් ම ජාතක වූ බව ඔවුන් ගේ  හෘද සාක්ෂි   කෑ ගසා පවසනවා ඇත.නමුත් ඒ හෘද සාක්ෂියට නිල ඇඳුම පලා ගෙන එළියට ඒමට තරම් ශක්තියක් නොමෙතිබව ද අපි දන්නවා.මොකද මේ සිස්ටම් එක නිර්මාණය කරලා තියෙන්නේ ඒ විදියට තමා.


මැම්බ ට පැරණි සගයන් කීපදෙනෙකු මුණ ගැහුණා කාලෙකට පස්සේ. එකම පන්තිවල ඉඳල එක එක කැම්පස් වලට ගිය යාලුවෝ.ඒ හැමෝම දුර පළාත්වලට යන්න ඕන නිසා එකිනෙකාට සුභ පතමින් සමුගත්තා.ඒත් එක්කම මැම්බට තව කෝල් එකක් ආවා.එයට ඉතාමත් සතුටින් ප්‍රතිචාර දුන් මැම්බා හිනා වෙවී මං ලඟට අවා.

"බලපන් මචන් එකෙත් හැටි, දැන් කතා කළේ මගේ හොදම යාළුවෙක්. එකම පන්තියේ.අද ඌ එහා පැත්තේ මම මේ පැත්තේ."

පාලනතන්ත්‍රයට අවැසි ලෙස දරුවන්,මිතුරන්,නෑයන් බෙදිලා වෙන් වෙලා.අපි දෙපැත්තක මරාගන්නවා.පාලකයෝ යෙහෙන්.

පොලිසියේ,හමුදාවේ,මහජනයාගේ,ශිෂ්‍යන්ගේ හදවත් එකම තාලයකට ගැහෙන්න ගත්තා.එත් කාටවත් ඒක පෙනුණේ නෑ.මොකද  හැමෝම නිල ඇඳුම් වලින් ආවරණය වෙලයි හිටියේ.අවකාශය පාට පාටින් කෑලි කෑලි වලට බෙදිලා තිබුන බව  නම් හරි අපූරුවට පෙනුණා.

එකිනෙකාට සුභ පතාගනිමින් ශිෂ්‍යන් ක්‍රමයෙන් පහව ගියා.ගොඩක් හවස් වුණ නිසා මැම්බට බස් එකක් අල්ලගන්න අපි හනි හනිකට හැරුණා.බැනර්,පෝස්ටර් කෑලි හැමතැ‍නම සී සී කඩ විසිරිලා.ගොඩගහලා තිබුණ සෙරප්පු ගොඩක් දැකල මමයි මැම්බයි නතර වුණා.ස්ත්‍රී පුරුෂ බේදයක් නැතිව කැඩිච්ච සෙරප්පු ගොඩක්.කඳුළු ගෑස් වදිනකොට දාල දුවපුවා.මමයි මැම්බට යි දීර්ඝ සුසුමක් පිට වුණේ එකටම වගේ.අපි නිහඩවම ඉදිරියට ඇදුනා.

මැම්බා,ඉරුදෙනියායට යන්න ඕන.ඒ කියන්නේ කුරුණෑගල ඉඳලා 80Kmදුරක්.කොළඹ ඉඳං කුරුණෑගලටද එවන් දුරක් තියෙනවා.අනිවාර්යෙන්ම අද රෑ කුරුණෑගලින් ඌට බස් එකක් නැතිවෙන බවනම් සහතික යි. ඌ අද රෑ බස්ටෑන්ඩ් එකේ නිදියාවි සතුටින්.ඒ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගපු ප්‍රොමෝදයෙන්. ..





   



       


Friday, August 17, 2012

දාරියෝ ෆෝ සමඟ

පසුගිය සති දෙකක පමණ කාලයක් අපේ විශ්වවිද්‍යාලීය නාට්‍ය නිෂ්පාදනයකට සම්බන්ධ වීම නිසා මම ඉතා අවිවේකී වුණා. එම නිෂ්පාදනය දාරියෝ ෆෝගේ We Won't Pay! We Won't Pay! නාට්‍යයෙහි සිංහල පරිවර්තනය "අපි ගෙවන් නෑ" නමින් යෞවන නාට්‍ය උළෙල වෙනුවෙන් සූදානම් වෙමින් පැවතියා. ඉතින්, අපි ගෙවන්නේ නෑ නාට්‍යයට සම්බන්ධ වීමත් මේ දිනවල ර‍ටේ ආර්ථික දේශපාලනික සමාජයීය තත්වයත් මට දාරියෝ ෆෝ ගැන අවුස්සා බැලීමට උනන්දුවක් ඇති කළා. මේ ඒ ගැන කෙටි සටහනක්.

දාරියෝ ෆෝ ලංකාවට ඉතා හුරු පුරුදු නාට්‍ය කරුවෙක්. 80 දශකයේ සිට මේ වන තෙක් ඔහුගේ නාට්‍ය රචනා පරිවර්තන සහ අනුවර්තන ලෙස ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය වුණා. විජිත ගුණරත්න, පරාක්‍රම නිරිඇල්ල, එච් ඒ පෙරේරා, ප්‍රසන්න විතානගේ, කපිල කුමාර කාලිංග ආදී පෙර පරම්පරාවේ විශිෂ්ඨයන් අතින් මේ නිෂ්පාදන සිදු කෙරුණා. අද දවසේ එම නිර්මාණ නැවත නැවතත් ලාංකීය වේදිකාවට පුනරාගමනය වෙනවා. ඒ අද දවසේ තරුණ නාට්‍යකරුවන් අතින්. ඉතින් පරම්පරා කිහිපයක් අතරින් ගමන් කරමින් අලුත් වීමට තරම් සහජ හැකියාවක් ෆෝගේ පිටපත් තුළ තියෙන බව අපට පේනවා.

1926 මාර්තු 24වන දින ඉතාලියේ වර්සෝහි දාරියෝ ෆෝ උපත ලබනවා. නාට්‍ය රචකයෙකු පමණක් නොවන ෆෝ ඉතා දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්, රූපණවේදියෙක්, වේදිකා පසුතල සැලසුම් ශිල්පියෙක් මෙන්ම ගීත රචකයෙකුද වෙනවා. පශ්චාත් යුධ සමයක ආගම, දේශපාලනය සහ බලය මහජනයා කෙරේ ක්‍රියාත්මකවන ආකාරය සහ මහජනයාගේ ප්‍රතික්‍රියා පාදක කර ගනිමින් ෆෝ නිර්මාණකරණයේ යෙදුණා. කම්කරු පන්තිය දෙස දයාද්‍ර හැඟීමකින් පෙරමුණ ගත් ෆෝ සංවිධානාත්මක අපරාධ, බල දේශපාලනය, දූෂණය, කම්කරු අරගල තම නිර්මාණයන්ට විෂය කොටගත්තා. 1997දී ඔහු සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගයට ද හිමිකම් ලැබුවා.

ෆෝගේ ප්‍රචලිත නාටය කිහිපයක් ලංකාවේ නිෂ්පාදනය වුණා. මේ ඒ අතරින් කිහිපයක්.

01. Accidental Death of an Anarchist (1970)
සාක්කි - 1986 විජිත ගුණරත්න
වරෙන්තු - 1995 එච් ඒ පෙරේරා, පරාක්‍රම නිරිඇල්ල
අරාජිකයා මරා - 2011 නලින් ලුසේනා

02. Trumpets and Raspberries (1981)
ද්විත්ව - ප්‍රසන්න විතානගේ
දෙබිඩ්ඩෝ - ප්‍රසන්න විතානගේ

03. We Won't Pay! We Won't Pay (1974)
ගෙවන්නත් බෑ අපි ගෙවන්නෙත් නෑ - කපිල කුමාර කාලිංග
මහේෂ් කුමාර
අචිනි වික්‍රමතුංග
අතුල ජයසිංහ

04. One was Nude and One wore Tails (1985)
හොරු සමඟ හෙළුවෙන් - ප්‍රසන්න විතානගේ

එර්වින් පිස්කාටර්, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ ප්‍රවණතාවන් තම නාට්‍යය සමඟ ගලපා ගත් ෆෝ ඉතාලියානු ජන රංග රටාවන් ද තම නිෂ්පාදනයන් සඳහා ප්‍රබලව භාවිතා කළා. එහිදී "කොමීඩියා ඩෙල් ආටේ" යන ජන රංග රටාවේ භාවිතාවන් යොදා ගැනීමට ඔහු සමත් වුණා. "කොමීඩියා ඩෙල් ආටේ" (commedia dell'arte) යන්න "tradition of on-stage improvisation". ලෙස විකිපීඩියා විශ්වකෝෂය හදුන්වා දී තිබෙනවා. එය නලුවා ප්‍රමුඛ කලාවයි. එනම් යම්කිසි කතාවස්තුවක් අනූව වේදිකාව මත සිදුකෙරෙන ක්ෂණික නිරූපණයන්ගේ සම්ප්‍රදාය ලෙස සරලව හැදින්විය හැකිය.

එම කරණාව සත්‍යක් බව පසක් කර ගැනීමට අපගේ වේදිකා නිෂ්පාදනය සමඟ සම්බන්ධ වී සිටිය කාලය තුළ අපට ඉතා හොඳින් ප්‍රත්‍යක්ෂ වූවක්. එනම් ෆෝගේ පිටපත ඉතා සුඛනම්‍ය ආකාරයෙන් නව අත්හදාබැලීම් සමඟ කටයුතු කිරීමට හා ක්ෂණිකව රංගයේ වෙනස්කම් කිරීමේ හැකියාවෙන්ද යුක්තය. නමුත් මෙය ඉතා පරිස්සමින් කළ යුතු කටයුත්තක් බැවින් නිෂ්පාදන කාලය පුරා නාට්‍ය කණ්ඩායම තුළ නිතරම වාද විවාද හා ගැටීම් වලට එළඹුණා. මන්ද ෆෝගේ පඨිතය ඉතාම සියුම් දේශාපාලනික කාරණා අවශෝෂණය කරගෙන සිටින්නක්. ඉතා සුළු වෙනසකදී පවා මූලික හරය නැති වී හාස්‍යය පමණක් මතු වීමේ භයානක කමද ඒ තුළම පවතින්නක්.

"දාරියෝ ෆෝ විසින් යෝජනා කරනු ලබන රංග රටාව අවස්ථානුකූලව මතුකරනු ලබන ප්‍රශ්න කිරීම නිසා ඇතිවන සමාජ ප්‍රතිරෝධයන් ඉතා සියුම් අන්දමට ප්‍රේක්ෂකයින්ගේ දේශපාලන දැනුම සමඟ හාස්‍යය මතුවන අන්දමට ගැටෙන්නට සලස්වමින් මනස අවදි කෙරෙන ආකාරයට දැනුවත් ලෙස භාවිත කළ යුතුය. නැතහොත් මූලික දේශපාලනික හරය එයින් ඉවතට යෑම වැලැක්විය හැකි නොවේ".
- විජිත ගුණරත්න -

වත්මන් ශ්‍රී ලාංකේය සමාජය බොහෝ කැළඹීම් සහගත තත්වයන්ගෙන් යුක්ත බව පේනවා. පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය ඉතාම අවුලෙන් අවුලට පත්ව ඇත. සඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයන්ම අර්බුදයන්ට මූණ පා මහ පාරට වී බලාසිටින බව පෙනේ. ඒ අතරම තරු පහේ භෝජනාගාර සහිත උස කුළුණු අහස සිප ගැනීමට බලා සිටී. මේ හා සමඟ බලනවිට ෆෝගේ අවශ්‍යතාවය අපට වැඩි වැඩියෙන් හැඟේ. ඉතින් යුගයෙන් යුගයට අලුත් වෙවී අප අතරම ඉන්න ෆෝ, ඔබ අපට අත්‍යවශ්‍යය යි.

ඉතින් අපි දාරියෝ ෆෝ සමඟ ...

අම්මා ගේ දීර්ඝ සුසුම.

අම්මා කියන්නේ මහා අරුම පුදුම විශ්ව ශක්තියක්. ජීවය කියන එක පවතින්නේ අම්මා කියන මේ විශ්ව ශක්තියේ බලයෙන්.ඒ වගේම අම්මල කියන්නේ අම්මල .ඒ නිසා සෑම අම්මෙක් ම එක්තරා පොදු ගුණාංග කිහිපයක් දරාගෙන ජීවත් වෙනවා කියල මම හිතනවා. තමන්ගේ දරුවෝ ගැන තමන්ගේ ජීවිතය පරදුවට තියල ඒ අයගේ සැපේ දී දුකේ දී ඉතාම සංවේදී වන මනුස්සයෙක් අම්මා.මට අම්මව විස්තර කරලා පැහැදිලි කරලා කියන්න තේරෙන්නේ නෑ. ඒක නොදැනුවත්ව කරන්න ගියොත් අම්මලට කරන විශාල අසාධාරණයක්. හැබැයි ඒක මැක්සිම් ගෝර්කි වගේ කෙනෙක් ඉතාම ලස්සනට සාහිත්යාකරණය කරලා තියෙනවා.

ඒක එහෙමයි කියල අපි හැමෝම දන්නවා. ඒත් අපි නොදැනුවත්වම ජීවිතේ බොහෝ අවස්ථාවලදී අපිට අම්මව මඟ ඇරෙනවා. ඒක මට නම් ජීවිතේ ඉතාම තදින් දැනිල තියෙනවා. විශේෂයෙන්ම විශ්ව විද්යාමලයට ඇතුළු උනාට පස්සේ. කැම්පස් කටයුතු එක්ක අපි කැම්පස් එකට සහ වෙනත් වැඩ වලට හිර වුණාම අම්මට කතා කරන්නවත්, ගෙදර යන්නවත් වෙලාවක් නැති වෙනවා. දරුවෝ දකින්නේ නැතිව අම්මල ට සෑහෙන දුකක් වේදනාවක් ඇති වෙන බව දැනගෙන හිටියට අපිට ඒක හරියටම කවදාහරි ඉඳිකටුවකින් ඇනුණා වගේ සීරුවට දැනිල තියෙනවද?

පසුගිය සතියක්ම ගෙදරින් ආවට පස්සේ Editing Studio එකේ නතර වෙන්න සිද්ධ වුණා. කාලයක් එකතුවෙලා තිබුණ වැඩක් හින්ද නතර වෙලා ඒක ඉවර කරන්න සිද්ධ වුණා. හරියටම වැඩේ ඉවර වෙන තැ‍න සතියක් ගතවෙලා තිබුණ.එදාම හවස කැම්පස් යන්නත් සිද්ධ වෙලා. හැබැයි අම්මට කියල ආවේ කැම්පස් යන්න කලින් ගෙදර ඇවිත් යනව කියල. වැඩේ නිසා කැම්පස් යන දවස එනකල්ම ගෙදර යන එක ගැන සිහි උනේ නෑ. පසුගිය රැයෙත් රෑ වෙනකල් වැඩ කළ නිසා සෑහෙන්න දවල් වෙනකල් නින්ද ගියා. ඇහැරිලා බලන කොට හොඳටම පරක්කු වෙලා. ගෙදර ගිහින් එන්න වෙලාවක් නැති නිසා කඩවතින් ම කොළඹ එන්න පිටත්වෙන්න ඕනි කියල තීරණය කළා. අම්මට කෝල් එකක් අරගත්තා. දැන් ගෙදර එන්න වේලාවක් නැති නිසා මෙහෙන්ම දවල්ට කාලා කොළඹ යනවා කියල අම්මට කිව්වා. කතා කරමින් හිටි අම්ම ගේ හද ගත යන දෙකම ක්ෂාණිකව මොහොතක් නතර වුණා වගේ දැණුනා. ඒත් එක්කම අම්ම දිග සුසුමක් පිට කළා. “ඔව් ඔයාට මෙහෙ ඇවිත් ගියොත් දැන් දවාලේ මහන්සියත් වැඩියි. කමක් නෑ එහෙනම් ඔතනින්ම පරිස්සමෙන් යන්න.” අම්මගෙන් අවසර ගත්ත මං ක්ෂිණිකව ලැහැස්ති වුණා. නමුත් ලැහැස්ති වන අතරේ ඉදිකටුවකින් කෙනිත්තුම් දෙන තරමේ වේදනාවක් ශරීරය අතරේ ගුලි ගැහෙන බව හැගෙන්න ගත්තා. ඒක මොකක්ද කියල කල්පනා කරනකොට තමයි දැනෙන්න ගත්තේ ඒක අර අම්මා පිට කරපු දීර්ඝ සුසුම කියල.
ඒ සුසුම ලොකු බරක් සහිතව පිට වුන එකක් බව මට කල්පනා වෙන්න ගත්ත. සමහරවිට මම ගෙදර ඒවි කියල පුංචි හරි බලාපොරොත්තුවක් අම්මගේ හිතේ ඇඳිලා තියෙන්න ඇති. දවල්ට බත්කටක් දීල කොල්ලගේ මුණ බලලා පරිස්සමින් යන්න කියන්න මඟ බලන් ඉඳල කඩවුණ හැගීමක බර ගතිය ඒ සුසුමේ තැ‍වරිලා තිබුණා. ඇයි මට ඒක ඒ වෙලාවේවත් ඊට පෙරවත් නොදැනුනේ. අම්මට දැනුණ ඒ හැගීම අපිට පරිවර්තනය කරගෙන ඒ හැගීමේ තරම විඳ ගන්න පුලුවන්ද කියල උත්සාහ කළා. ඒක නිකන් අලුතින්ම පෙම් සම්බන්දතාවක් පටන් ගත් පෙම්වතෙක් තම පෙම්වතිය එනකල් කාලයක් බලන් ඉන්නවා. වෙලාව ආවම එයා නියමකරගත් තැ‍නට යනවා. හැබැයි එතැනදී එයාට දැනගන්න ලැ‍බෙනවා එයා තව කාලයකට එන්නේ නෑ කියල. ඔව් එතකොට දැනෙන බරපතල හැගීම. ඒක වෙන්න ඕන. ඒත් අපි දන්නේ නෑ ඒ එම හැගීමම ද කියල. ඒ අපේ අම්ම. අම්මට දැනෙන විධිය අපිට කවදාවත් හිතාගන්න බැරි වේවි.
මේ විදියට ජීවිතේ අපි නිසා තව කොච්චරක් දීර්ඝ සුසුම් පිට කරලා අම්මා ඒ හැගීම්, ඇතුළේ හිර කරගන්න ඇත්ද?මට කැම්පස් එනකල්ම අම්මාගේ දීර්ඝ සුසුම ගැන හිතෙන්න පටන් ගත්තා. කොයි තරම් අම්මාව මඟ ඇරුනත් කරදරයක් වෙලා අනාථ වෙලා කර කියා ගත නොහැකි ව හිර වන මොහොතේ අම්මව මතක් වෙලා ඇහැ අගට කඳුලක් උනන්නේ ඇයි කියල මට හිතුණා. අපිට හැම දේම නැති වෙලා අවසන් මොහොතේ අම්ම ව මතක් වෙලා කඳුළු උණනවා. ඒත් මොන දේ තිබුනත් අම්ම අපිව මතක් කරලා උණන කඳුළු කොච්චරනම් හංගගෙන ඇත්ද? ඉඳිකටුව මගේ ලේ මස් ඇට නහර විදගෙන ඇතුළට ම බැස්ස.
මට වෙලාවට කැම්පස් එන්න පුළුවන් වුණා...

උපාධිය