Saturday, September 8, 2012

නෙරූදා ගේ ලියුම්කාරයා බැහැදුටුවෙමි.
















ෆේස්බුක් සැරිසරමින් ඉන්න අතරේ ලියනගේ අමරකීර්ති මහතාගේ අලුත් පොතක් එළිදැක්වෙන බව දක්නට ලැබුන පෝස්ටරයක් දක්නට ලැබුනා.ඒ පොත පිළිබඳව පූර්ව අවබෝධයක් මට නොමැති වුවත් පියල් කාරියවසම් මහතා එම කෘතිය අළලා කෙරෙන දේශනයේ දී ලතින් ඇමෙරිකානු සාහිත්‍ය පිළිබඳව කතා කිරීමට නියමිත නිසා එය ලතින් ඇමෙරිකානු  පරිවර්තනයක් විය හැකි ය, යන්න පමණක් මම හිතුවා.ඉන් ඔබ්බට ඒ පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මගේ පූර්ව දැනුම දුර්වල හෙයින් නෙරූදත් ඔහුගේ ලියුම්කරුවා කව්ද යන්නත් පිළිබඳව මට තිබුනේ ලොකු කුහුලක්.ලතින් ඇමෙරිකානු සාහිත්‍ය අපට බොහෝ ආගන්තුක නිසා මෙම අවස්ථාව අලුත්ම ආනන්දනීය අත්දැකීමක් මෙන්ම අලුත් ආරම්භයකුත් වේවි කියල මට හිතුණා.ඒ සිතුවිලිත් එක්ක ඊයේ (09/06/2012) මම නිදහස් මාවතේ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරය දෙසට ඇදුනා.

කැළණි සරසවි යේ හිතමිත්‍රාදීන් කිහිපදෙනෙකු ම ඒ වනවිටත් එහි පැමිණ තිබුණා.ආරම්භක වේලාව වෙනකොට සම්පූර්ණ ශාලාව වසා සෙනග පිරී හිටියා.ලාංකීය නූතන කලා මාධ්‍යන් ඇතුළේ අපි ආදරේ කරන චරිත බොහොමයක් මේ අවස්ථාව විඳ ගන්න පැමිණිලා හිටියා.චන්ද්‍රගුප්ත තේනුවරගේ සිට රාජිත දිසානයක,අතුල පතිරණ ,මාලක දේවප්‍රිය ආදී විවිද කලා මාධ්‍යන් තුළ නියතවූවන්ගේ එකතුවක් එහි දක්නට වුණා.විවිද මාදිලියේ මිනිස්සු නෙරූදව හොයාගෙන ඇවිල්ල.ශ්‍රවනාගාරයේ කුඩා බිත්ති හතර කලා හා දේශපාලනික භාවිතයන්ගේ විශාල අවකාශයක් නිර්මාණය කරලා තිබුණා.

පොත පිළිගැන්වීමේ උත්සවය සංවිදානය කරලා තිබුනේ මංසල කතිකා කවය යි.පුහු ආටෝපයන්ගෙන්  තොරව ඉතා චාම්ව වැඩේට අවංකව දායකවීමේ ඔවුන්ගේ උවමනාව ඒ වැඩේ ඇතුළේ දැක්කා. ඒ නිසාම ආකෘතියට වඩා සන්දර්භය හරිම රසවත් වුණා කියලයි මට දැනුණේ.මේ වගේ බොහෝ අවස්ථාවල අපි දකින්නේ මදයට වඩා කටුව නිසා මෙවැනි යමක් සංවිධානය කිරීම වෙනුවෙන් මංසල කතිකා කවයට අපේ ප්‍රණාමය.

වැඩේ ආරම්භ කරමින් මයිකල් රැඩ්ෆෝඩ් ගේ Il Postino ( The Postman ) චිත්‍රපටය ප්‍රදර්ශණය කළා.පළමුවරට එම චිත්‍රපටය නරඹපු මට එක්තරා සංවේගයක් මෙන්ම ලොකු ප්‍රොමෝදයකුත් ඇති වුණා.චිත්‍රපටය නිසාම නෙරූදා (පැබ්ලෝ නෙරූදා) සහ ඔහුගේ ලියුම් කරුවා ( මාරියෝ) පිළිබඳව යම් අදහසක් මගේ ඔලුවට ආවා.මොකද 'The Postman ' කියන්නේ අන්තෝනියෝ ස්කර්මෙතාගේ (Antonio Skármeta) 'El Cartero De Neruda' කියන කෘතිය පාදක කර ගනිමින් නිපද වූ චිත්‍රපටය යි. එම කෘතියේ සිංහල පරිවර්තනය නෙරූදාගේ ලියුම්කාරයා නමින් සිංහල පාඨකයා අතට පත් වෙයි.චිත්‍රපටයේ ප්‍රොමෝදය නිසාම තවදුරටත් පරිවර්තනය කියවීමේ ලොකු අශාවකුත් ඇති වුණා.

කෙටි විවේකයෙන් පසු එළඹී මොහොත පොත පිළිගැන්වීමේ උදෘතපාඨය කියවීමේ අවස්ථාව වුණා.එය සිදු කෙරුණේ 'හිනිදුම සුනිල් සෙනෙවි' මහතා අතිනුයි.ඉන්පසුව 'පියල් කාරියවසම්' මහතා ද 'විදර්ශන කන්නන්ගර' මහතා ද තම මාතෘකා යටතේ කතිකාව ඉදිරියට ගෙන ගියා.ලතින් ඇමෙරිකානු ජීවිතයත් ලාංකීය ජීවිත අතර සම්බන්දතාවය මෙන්ම ලතින් ඇමෙරිකානු සාහිත්‍ය සහ අපේ සාහිත්‍ය අතර වෙනස පිළිබඳව පියල් කාරියවසම් මහතා පැහැදිලි කළා.එම විෂමතාවයන් ට තුඩු දුන් ඓතිහාසික මෙන් ම දේශපාලනික මැදිහත්වීම් පිළිබඳව ඔහු හොදින් විස්තර කරලා පැහැදිලි කළා. කෘතිය වියමනක් ලෙස එහි අන්තර්ගත මානව බැදීම්, ආදරය සහ දේශපාලනය පිළිබඳව විදර්ශන කන්නන්ගර මහතා තම දේශනය ඉදිරිපත් කළා.මේ දේශන දෙකත් සමගින් වැඩේ නිමා වුනත් කෘතිය පාඨකයා සමඟ වැඩ අල්ලන්න ගන්නේ ඊට පස්සේ. එම කෘතිය තවම මම කියෙව්වේ නැති වුවත් 'ස්කර්මෙතා' පිළිබඳව උපන් කුහුලෙන් සොයා බැලූ අංශුමාත්‍ර කරුණු කිහිපයක් මේ විදියට සටහන් කරන්න හිතුණා.

















අන්තෝනියෝ ස්කර්මෙතා (Antonio Skármeta)

විශිෂ්ට චිලී ලේඛකයෙකු සේ සැලකෙන අන්තෝනියෝ ස්කර්මෙතා උපදින්නේ 1940 නොවෙම්බර් 07 වෙනිදා චිලි යේ 'ඇන්තෆොගස්තාවේ'දී ය.ක්‍රෝෂියෝ සංක්‍රමණික පරපුරක මුනුබුරකු ලෙස උපදින ස්කර්මෙතා හැදී වැඩෙන්නේ තම ආච්චී සහ සීයා සමග යි.දරිද්‍රත්වය නිසාම ස්කර්මෙතා ගේ ළමා කාලය ගතවුනේ හරිම දුෂ්කර කාල පරිච්ඡේදයක් විදියට.නමුත් හැම දුකක් ම විඳගෙන අධ්‍යාපනය හැදෑරූ ස්කර්මෙතා පළමුව චිලියේ ද දෙවනුව නිව්යෝර්ක් හි කොලොම්බියා සරසවිදී ද ( 1964 - 1966 ) දර්ශනය හා සාහිත්‍ය පිළිබඳව අධ්‍යනය කරන්න පටන් ගත්තා.එම අධ්‍යනයන් සම්පූර්ණ වූයේ ආජෙන්ටියානු ලේඛක ජුලියෝ කෝටසාර් (Julio Cortázar) පිළිබඳව කෙරුණ අධ්‍යනයකුත් සමඟ යි.

1973 'ඕගොස්තෝ පිනෝචේ' ගේ ආඥාදායක බල දේශපාලනය ක්‍රියාත්මක වන තෙක්  ස්කර්මෙතා සාහිත්‍ය කලා නිර්මාණයේ නියෙලෙමින් සාහිත්‍ය පිළිබඳව මහාචාර්ය ධුරයක් හොබවමින් සන්ටියාගෝවේ වාසය කළා.ඉන් අවුරුද්දකට පස්සේ ඔහු බටහිර බර්ලිනයට සංක්‍රමණය වෙනවා.1989 වන තෙක් ඔහු එහි නිදහස් ලේඛකයෙකු, තිර නාටක රචකයෙකු සහ බර්ලින් චිත්‍රපට හා රූපවාහිනි ඇකඩමියේ කථිකාචාර්ය ධුරයක් ද දරමින් ජීවත් වෙනවා.මෙහෙදී ඔහුගේ ප්‍රථම නවකතාව වන 'I Dreamt the Snow was Burning' නම් කෘතිය 1975 දී එළිදක්වනවා.

1989 පිනොචේගේ මිලිටරි ආඥාදායක පාලනයට පසු ස්කර්මෙතා නැවත සිය රටට  එනවා.එහිදී චිලී දේශය නැවත නිදහස් දේශපාලන අවකාශයක් ලෙස ගොඩ නැගීමට ඔහු දායක වෙනවා.සාහිත්‍ය සහ කලාව සම්බන්ද රූපවාහිනී වැඩසටහන් ගණනාවකට ස්කර්මෙතා සම්බන්ද වෙනවා.ඔහුගේ එම රූපවහිනී වැඩසටහන් වටා මිලියනයකට අධික ප්‍රේක්ෂක පිරිසක් එක්රොක් වුණා.සාහිත්‍යකරුවෙකු වගේම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වශයෙන් ද ස්කර්මෙතා සේවය කරනවා.2000 සිට 2003 දක්වා ජර්මනියේ චිලී තානාපති ධූරය හෙබවූයේ ද ස්කර්මෙතා විසිනුයි.

El Cartero De Neruda(1985)
නෙරූදා ගේ ලියුම්කරුවා.

පැබ්ලෝ නෙරූදා (1904 - 1973) කියන චිලියේ විශිෂ්ට කවියාගේ සත්‍ය ජීවන තොරතුරු ද මාරියෝ කියන පරිකල්පනීය ලියුම්කාරයා ද පාදක කරගනිමින්  මෙම නවකතාව දිගහැරේ.1985 දී ස්පාඤ්ඤ භාෂාවෙන් රචිත මෙමෙ කෘතිය 1987 දී 'කැතරින් සිල්වර්' නම් ලේඛකාවිය විසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කරනවා.එමෙන් ම අද දක්වා මෙම කෘතිය ලෝකයේ භාෂා තිහකට ආසන්න ප්‍රමාණයකට පරිවර්තනය වෙලා තියෙනවා.

1994 දී මෙම නවකතාව පාදක කර ගනිමින් ඉතාලියානු චිත්‍රපට අධ්‍යක්‍ෂ 'මයිකල් රැඩ්ෆෝඩ්' විසින්  Il Postino (The Postman) චිත්‍රපටය නිර්මාණය කරනවා.එහි අධ්‍යක්ෂණය හා තිර රචනය  මයිකල් රැඩ්ෆෝඩ් ගේ ම වේ.එම චිත්‍රපටය 1995 වසරේ 'Academy Awards' යටතේ හොඳම චිත්‍රපටය ,හොඳම අධ්‍යක්ෂණය,හොඳම තිර රචනය,හොඳම නළුවා යටතේ සම්ම්නයට නිර්දේශ වෙනවා.එමෙන්ම එය හොඳම සිනමා සංගීතය වෙනුවෙන් එම වසරේ Academy Awards සම්මානය ද BAFTA සම්ම්නය ද  දිනා ගන්නවා.BAFTA උළලේ දී එය ඉංග්‍රීසි භාෂාවෙන් නොවන හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානය ද දිනා ගන්නවා.ඉන්පසු චිත්‍රපටයක් මෙන්ම ඔපෙරාවක්‌ බවට ද මෙම නවකතාව පරිවර්තනය වෙනවා.

සිංහල භාෂාවෙන් සාහිත්‍ය රස විඳින පාඨකයාට තව දුරටත් ලතින් ඇමෙරිකානු සාහිත්‍ය ට සමීපවෙන්න මෙම කෘතිය බෙහෙවින් ඉවහල් වේවි කියලා මම හිතනවා.තවම පරිවර්තනය මම කියවා නැති නිසා ඒ ගැන යමක් මෙහි සටහන් කරන්නේ නෑ.නමුත් මමත් පුල පුලා බලා හිඳින ඒ මොහොත, එනම් නෙරූදාගේ ලියුම් කරුවා මුණ ගැසීමේ අවස්ථාව ඔබට ද උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නවතිනවා.ඔබට ජය!